මේ නිශානන්දයේ හාත්පස දඟකරන,
තරු පොකුරු අතරේ කෙළි කවටකම් කරන,
වෙසක් සඳ කුමරුන් මදෙස හොරැහින් බලා,
වෙලා ලොව ඝණ අඳුර තරු අතර සැඟවුනිය...
තුරු වදුල දෙදුරුවන රැහැයියන්ගේ ගීය,
මහද සන්තානයට එය විනි යසෝ ගීය,
තුරු හිසින් තුරු හිසට සර නඟා පැන දුවන,
නල කිමද තනන්නේ නිවන්නට හද පහන...
කිරි සුදට ඔප වැටුනු පන්සලේ සේයාව,
පුබුදුවයි හද කොනේ මතකයක සේයාව,
මා හද සුසානෙහි වැලලූ යට ගියාව,
මතකයට නඟාවී ඔබේ ඒ ගී රාව...
අම්මේ ඔබ නැතුව මගේ හිතට පාලුයි,
ඔබ ගිහින් අද දිනට හාර මස් දෙපෝයයි,
අක්කා හදනා කෑම ඔබෙ තරම් රස නොවෙයි,
පොඩි මල්ලියත් තවම ඔබ නැතිව හඬ තලයි...
එදා ඇඳි සාරියට අම්මෙ ඔබ හරි හැඩයි,
ඊට ඉස්ස‍්රින්දා බත් නොකෑ හින්ද ඇයි,
කතා නොකරම හිටියෙ මගෙ හිතට හරි දුකයි,
ගිහින් එන්නම්වත් කියලා නොගියෙ ඇයි...
තාත්තා හැමදාම ඉකි බිඳින්නේ මන්ද,
එයාටත් මට වගේ ඔබ නැතිව පාලුයිද,
ඔබ ගියායැයි කියපු දුර ඈත තැන කොහෙද,
මං වගේ පැංචෙකුට තනිව එන්නට බැරිද...
මාත් ලොකු මිනිහෙක් අවුරුදු හතයි හෙට,
ලොකු තෑග්ගක් අරන් හෙට උදෙන් මෙහි එන්ට,
හෙට උදෙන් මෙහි එන්ට බැරිවුනෝතින් ඔබට,
හීනෙන්වත් ඇවිත් ළඟින් හිඳ හිනැහෙන්න......
හරිම ලස්සනයි.. දිගටම ලියන්න..
ReplyDelete"මාත් ලොකු මිනිහෙක් අවුරුදු හතයි හෙට,
ReplyDeleteලොකු තෑග්ගක් අරන් හෙට උදෙන් මෙහි එන්ට,
හෙට උදෙන් මෙහි එන්ට බැරිවුනෝතින් ඔබට,
හීනෙන්වත් ඇවිත් ළඟින් හිඳ හිනැහෙන්න......"
කවියට නියම අවසානයක්.
දිගටම ලිව්වොත් අපි ඒවා ආසාවෙන් කියවනවා.